හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් හම්බන්තොට මහ නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි 25කට අධික වරිපනම් බදු මුදලක් මේ වන තෙක් නොගෙවීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. මහ නගර සභා රැස්වීමකදී අදහස් දක්වමින් නගරාධිපති ඩී.ඒ. ගාමිණි මහතා මේ බව අනාවරණය කළේය.
චීන සමාගමක් විසින් වරායේ සේවා කටයුතු ආරම්භ කළ දා පටන් නිසි පරිදි වරිපනම් බදු නොගෙවීම නිසා, දඩ පොලී ද සහිතව මෙම දැවැන්ත මුදල නගර සභාවට අය විය යුතු බව නගරාධිපතිවරයා පෙන්වා දෙයි. මේ අනුව, නගර සභා ආඥා පනත ප්‍රකාරව රුපියල් කෝටි 14ක හිඟ මුදලක් සඳහා වරායේ දේපළ තහනම් කිරීමේ රතු නිවේදන නිකුත් කිරීමට මහ නගර සභාව පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත්, මෙම තහනම් කිරීමේ නියෝගයට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරීත්වය විසින් අභියාචනාධිකරණයේ නඩු පවරා වාරණයක් ලබාගෙන ඇත. වාණිජ වරායක් ලෙස දේපළ තක්සේරු කිරීමේ ගැටලු පවතින බව පවසමින් වරාය පාර්ශ්වය මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නීතිමය ක්‍රියාමාර්ගය වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ සමාගමකට ගෙවීමට සිදුවූ රුපියල් ලක්ෂ 10ක මුදල ද මහ නගර සභාවේ අරමුදල්වලින් දැරීමට සිදු වූ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පළාත් පාලන කොමසාරිස්වරයාගේ දැනුම්දීම සහ නීති අංශයේ උපදෙස් මත ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නගර සභාව සූදානම් වේ.















