ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින්නේ අතිශය අවදානම් සහගත තත්ත්වයක බවත්, ඉදිරි අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනතුරු අඟවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඩොලරයේ අගය පාලනය කිරීම සඳහා රජය මේ වන විට ගනු ලබන ක්‍රියාමාර්ග හුදු පැලැස්තර විසඳුම් පමණක් බවයි. සංචිත වෙළෙඳපොළට මුදාහරිමින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් කඩිනමින් ගෙන්වා ගනිමින් ඩොලරයේ අගය කෘතිමව පහත හෙළීමට රජය උත්සාහ කළ ද, ජූලි මාසය වන විට එහි අගය නැවතත් ඉහළ යනු ඇති බව ඔහු පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව, ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය පොරොන්දු වී ඇතැයි මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළේය. රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රුපියල තවදුරටත් කඩා වැටීම සහ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාම නොවැළැක්විය හැකි බව ඔහු සඳහන් කරයි.
එළඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම යනු සියලු පළාත් සභා විපක්ෂයට තෑගි කිරීමක් වැනි ක්‍රියාවක් බැවින්, ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම මඟහැරීමට උත්සාහ කරන බවයි.
















