ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට අනාවැකි පළ වී ඇති එල් නිනෝ (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් රටේ ප්‍රධාන ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. මෙම තත්ත්වය අතිශය දරුණු විය හැකි බවත්, හදිසි අවස්ථාවකදී ජලය බෙදා හැරීම සඳහා දැනට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සතුව පවතින ජල බවුසර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා පෙන්වා දෙයි.මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පෙර සූදානමක වැදගත්කම අවධාරණය කරන ධර්මතිලක මහතා පවසන්නේ, පවතින ජල බවුසර් මගින් ජලය බෙදා හැරීම ප්‍රමාණවත් නොවන බවයි. ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමක් පවතින බැවින්, අනාගතයේදී මුහුදු ජලය පිරිපහදු කර ලවණ ඉවත් කිරීමේ (Desalination) ක්‍රමවේදයක් ගැන පවා සලකා බැලීමට සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පැවැත්විණි. එල් නිනෝ බලපෑම හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්රයට විය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
එම අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ‘ඩිට්වා’ සුළි කුණාටුව සහ මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් මැනවින් කළමනාකරණය කළ ශ්‍රී ලංකාවට, නිසි සැලසුම්කරණය සහ කාලෝචිත ක්‍රියාමාර්ග හරහා මෙම ගෝලීය දේශගුණික අභියෝගයට ද සාර්ථකව මුහුණ දීමේ හැකියාව පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය දැනටමත් එල් නිනෝ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි ජූලි සහ අගෝස්තු මාසවලදී රට තුළ වියළි කාලගුණයක් සහ නියඟයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදුවන මෙම ගෝලීය සංසිද්ධිය නිසා සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් සහ දරුණු නියඟයක් ශ්‍රී ලංකාව වැනි රටවලට බලපෑ හැකි බව පුරෝකථනය කෙරේ.
















