පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි මහතා සඳහන් කළේ, කැළණි, ගිං සහ නිල්වලා යන ගංගාවල මෙන්ම අත්තනගලුඔය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ජල මට්ටම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා අදියර 01 යටතේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වේ:
කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය: දොළුව
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් සහ පොළව ගිලා බැසීම් වැනි ආපදා තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.
















