ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ බවට ආණ්ඩුව නඟන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ එම තර්කයට අනුව ප්‍රහාරයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ (JVP) භාරගත යුතු බවයි. පාස්කු බෝම්බකරු සිටියේ පොහොට්ටුවේ නොව ජේවීපී ජාතික ලැයිස්තුවේ බවත්, ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට සහ විමර්ශන යටගැසූ අයට වර්තමාන ආණ්ඩුව ඉහළ තනතුරු දී ඇති බවත් ඔහු චෝදනා කළේය. සේරුවාවිල රජවැව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ පවතින ආර්ථික සහ පරිපාලන අර්බුද රැසක් ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ‘Rebuilding Sri Lanka’ අරමුදලක් ගැන පැවසුව ද, පාර්ලිමේන්තු මුදල් කමිටු ලේකම්වරයා එවැන්නක් නැති බව පවසන බැවින් ආණ්ඩුවේ ගිණුම්වලින් මුදල් වැරදි ගිණුම්වලට ගලා යන බවත්, සාමාන්‍ය වැසියන්ට බදු බර පටවද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වැරදීමකින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් බැර වන බවත් ඔහු පැවසීය. එමෙන්ම වී මිල පහත වැටීම, පොහොර හිඟය සහ දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන්ට සහන නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද ඔහු සඳහන් කළේය.
උපාධිධාරීන්ට රැකියා අහිමි වීම, ආයෝජකයන් රට හැර යාම සහ සිවිල් ආරක්ෂක බලකායේ (CSD) නිලධාරීන් ආගමික ස්ථානවලින් ඉවත් කර කොළඹට මාරු කිරීම හරහා ඔවුන් දැඩි අසීරුතාවකට පත් කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පීඩිත පන්තිය වෙනුවෙන් බලයට පැමිණි වත්මන් පාලනය අද වන විට මහා පරිමාණ ධනපතියන් සුරකින ආණ්ඩුවක් වී ඇති බවත්, ජනතාව පෙළන මෙම අත්තනෝමතික බදු සහ මර්දනයට එරෙහිව සියලු දෙනා පොදුජන පෙරමුණ වටා රොද බඳිමින් සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















