හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය සහ දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ මහතා අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය. ඒ මහතා අද දින කොටුව ගරු මහේස්ත්‍රාත්තුමා වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් යොමු කරමින් මෙම සමාව අයැදීම සිදු කර ඇත.
පසුගිය ජූනි 11 වැනිදා මහින්ද පතිරණ මහතා විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මඟින් අදාළ වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය සහ එහි සාමාජිකයන් තේරීම විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් මත සිදුවූවක් බවට විවේචනය කර තිබිණි. කෙසේ වෙතත්, තමන් වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු මත එම විවේචනය සිදු කළ බවත්, අදාළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීම විධායකයේ බලපෑමෙන් තොරව, නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව ගරු අධිකරණයේ ස්වාධීන නියෝගයක් මත සිදුවූවක් බව නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු අධිකරණයට යොමු කළ ලිපියේ දක්වා තිබේ.
තම විවේචනය කිසිසේත්ම ගරු අධිකරණය වෙත එල්ල කළ එකක් නොවන බවත්, තම ඉලක්කය වූයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණක් බවත් පතිරණ මහතා සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත. කිසිදු අවස්ථාවක අධිකරණයේ අධිකාරී බලයට හෝ අපක්ෂපාතීත්වයට අභියෝග කිරීමට තමන්ට චේතනාවක් නොතිබූ බව පවසන ඒ මහතා, එමඟින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කොන්දේසි විරහිතව සහ අවංකව සමාව අයැද සිටින බවත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතියේ පරිශුද්ධභාවය සුරැකීමට සැමවිටම බැඳී සිටින බවත් සහතික කර තිබේ.















