කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) අතරමඟ නැවතී තිබූ දෙවන පර්යන්තයේ (Terminal 2) ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීම පිළිබඳව අද (12) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ (Isomata Akio) මහතා ප්‍රමුඛ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක් අතර අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කරමින් එළඹෙන නොවැම්බරයේදීම වැඩ ආරම්භ කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ජපන් රජයේ යෙන් බිලියන 75ක ණය ආධාර යටතේ 2020 දෙසැම්බර් මාසයේදී මෙහි වැඩ ආරම්භ කළ ද, 2022 අප්‍රේල් මාසයේදී රටේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් අතරමඟ නැවතුණි. පසුව 2024 වසරේදී වැඩ යළි ඇරඹුවත්, ණය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2025 මාර්තු මාසයේදී එය නැවතත් නතර විය. කෙසේ වෙතත්, වත්මන් රජය කෙරෙහි ඇති විශ්වසනීයත්වය මත, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය අතිරේක මුදල් ලබාදීමට ජපන් රජය මේ වන විට එකඟතාව පළ කර ඇත.
සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ අවශ්‍ය ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ කඩිනමින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බවයි. මෙම ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම සලකා ජනාධිපතිවරයා ද සෘජුවම මැදිහත් වී ඇති අතර, JICA නියෝජිතයන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද කඩිනමින් සූදානම් කිරීමට තීරණය විය. මුලින්ම ණය ගිවිසුම් ස්ථීර කර අත්සන් තැබීමත්, දෙවනුව එකඟ වූ මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කිරීමට JICA ආයතනය යෝජනා කළ අතර, වැඩ ආරම්භ කර මාස 30ක් ඇතුළත සමස්ත ව්‍යාපෘතිය නිම කිරීම තමන්ගේ ඉලක්කය බව ද ජපන් නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
















