ජුනි 24 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත සංශෝධිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ සහ විද්වත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සාධනීය සංවාදයක් පසුගියදා පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවති මෙම හමුව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ නිලධාරීන් සහ හේමන්ත විතානගේ, මෙලනි ගුණතිලක ඇතුළු ප්රමුඛ පෙළේ පරිසරවේදීන් රැසක් එක්ව සිටියහ.
පරිසර සුරක්ෂිත කිරීම හුදෙක් නීති රීතිවලට පමණක් සීමා කළ නොහැකි බවත්, එය පුළුල් මහජන සහභාගීත්වයක් සහ සාමුහික ප්රයත්නයක් මත පදනම් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දේශගුණික විපර්යාසයන්ට ගැලපෙන පරිදි පනත කාලීනව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නීතිමය ගැටුම්වලින් තොරව මෙම පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙම නව පනත් කෙටුම්පත මගින් පාරිසරික යුක්තිය පසිඳලීම සහ අනාගත පරපුර උදෙසා ස්වභාවධර්මය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් පුළුල් නෛතික වපසරියක් නිර්මාණය කර ඇත. පනතේ අඩංගු සුවිශේෂී ප්‍රතිපාදන කිහිපයක් පහත දැක්වේ:
පළාත් පාලන ආයතන සතු පාරිසරික වගකීම් නීත්‍යානුකූලව තහවුරු කර ඇති අතර, විධාන පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරේ.
අධිකරණ නියෝග කඩ කරන ආයතනවලට ඉහළ දඩ මුදල් පැනවීමට මහේස්ත්රාත්වරයාට බලය හිමිවේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම මත බලපත්‍ර අත්හිටුවීමට හෝ කර්මාන්ත තාවකාලිකව වසා දැමීමට නව ප්‍රතිපාදන සලසා ඇත.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව පරිච්ඡේද හඳුන්වා දී ඇත.
පාරිසරික බලපෑම් ඇගයීම් (EIA/IEE) සඳහා අසත්‍ය තොරතුරු සැපයීම දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇත.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ‘උපාය මාර්ගික පාරිසරික ඇගයීම්’ (SEA) අනිවාර්ය කර ඇත.
‘නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම’ (EPR) නීතිගත කරමින් භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරා ඇත.
තෙත්බිම් සංරක්ෂණය සඳහා විශේෂිත නව නීති පද්ධතියක් හඳුන්වා දී ඇත.
මෙම පනත් කෙටුම්පත 2025 වසරේදී කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, 2026 අප්‍රේල් 22 දින ගැසට් කරන ලදී. මහජන පෙත්සම් සඳහාද අවස්ථාව ලබාදී ඇති මෙම පනත, එළඹෙන ජුනි 24 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකින් සම්මත කිරීමට නියමිතය. විවිධ සමාජ කණ්ඩායම් ඉලක්ක කරමින් මෙම පනත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.
















