ගෝලීය වශයෙන් වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුව බවට පත්වෙමින්, වසරකට ලොව පුරා අහිංසක මිනිස් ජීවිත ලක්ෂ 80කට අධික ප්‍රමාණයක් බිලිගන්නා දරුණු දුම්කොළ වසංගතය මර්දනය කිරීම සඳහා භාවිත කළ හැකි ලොව වටිනාම සහ එකම සාර්ථක උපක්‍රමය ‘දුම්වැටි බදු ඉහළ නැංවීම’ බව ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමුගත සම්මුතියේ 6 වැනි වගන්තිය මඟින් ද දුම්වැටි මිල සහ බදු ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇති පසුබිමක, දුම්වැටි සඳහා පනවන බදු ඉහළ දැමීම ආණ්ඩුවකට සහ මහා භාණ්ඩාගාරයට ‘ස්මාර්ට්’ තීරණයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනාත්මක වාර්තාවක් නිකුත් වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාර්ථක දුම්කොළ පාලන උපායමාර්ග 6 අතර ප්‍රධානතම මෙවලමක් වන බදු ඉහළ නැංවීමේ ක්‍රමවේදය හරහා රටකට ප්‍රධාන වාසි 5ක් අත්වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. එනම් සෘජුවම මිනිස් ජීවිත සුරැකීම, රජයේ මහා භාණ්ඩාගාරයට මූල්‍ය සම්පත් රැස්කර ගැනීම, සෞඛ්‍ය අසමානතා පිටුදැකීම, රෝගාබාධ නිසා සෞඛ්‍ය පද්ධතියට සිදුවන බිලියන ගණනක පිරිවැය සහ බර අවම කිරීම මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවීමයි. ඉහළ බදු හරහා දුම්වැටියක මිල ඉහළ යන විට, මුදල් නොමැති වීම නිසාම දරුවන් සහ තරුණ පරපුර දුම්වැටිවලට ඇබ්බැහි වීම මුළුමනින්ම වැළකෙන බව දත්ත මඟින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව 2003 වර්ෂයේදී ආසියාවේ පළමු රට ලෙස රාමුගත සම්මුතිය අත්සන් කරමින්, පසුව ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරී පනත හරහා දුම්වැටි පැකට් මත සියයට 80ක රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සහ විද්‍යුත් සිගරට් තහනම් කිරීම වැනි ප්‍රබල නීති පැනවුව ද, බදු ක්‍රියාවලිය තුළ පවතින සූක්ෂ්ම සිදුරු හේතුවෙන් දුම්වැටි සමාගම් තවමත් අනිසි ලාභ ලබමින් සිටී. දැනට ලංකාව තුළ දුම්වැටි බදුකරණය මුදල් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරේ. එහිදී 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ පනවන විශේෂ සුරාබදු, වැට් බදු මෙන්ම ආනයන සඳහා රේගු බදු, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සහ සෙස් බදු අය කරනු ලබන අතර, 2019 දී ජාතික ගොඩනැගීමේ බද්ද මුළුමනින්ම අහෝසි කර තිබේ.
කෙසේ වුව ද, දුම්වැටි සමාගම් විසින් මිල සෙල්ලම් පවත්වමින් රජයට වසරකට අහිමි කරන රුපියල් කෝටි 1,730ක අතිදැවැන්ත බදු වංචාව වැළැක්වීමට නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පරිදි පවතින සංකීර්ණ බදු එකතු කිරීමේ ක්‍රම වෙනස් කර ‘සරල බදු ව්‍යුහයක්’ සකස් කළ යුතු බව විශේෂඥයෝ පවසති. එමෙන්ම උද්ධමනයට සහ ජනතාවගේ ආදායම් වර්ධනයට සාපේක්ෂව දුම්වැටි බදු නිරන්තරයෙන් ස්වයංක්‍රීයව ඉහළ යන ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර, පාරිභෝගිකයන් ලාභදායී ආදේශක වෙත යොමුවීම වැළැක්වීමට සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා සමාන බදු පැනවිය යුතුය. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක හෙවත් රුපියල් කෝටි 75ක වංචාව මෙන් 23 ගුණයකින් විශාල දුම්වැටි සමාගම්වල රුපියල් කෝටි 1,730ක මාරක බදු සහන වංචාව නිමා කිරීමට නම්, වහාම බදු පරිපාලනය ශක්තිමත් කර බදු පැහැර හැරීම් සහ බදු මඟහැරීම් මුළුමනින්ම තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත යුතු බව ජාත්‍යන්තර වාර්තා වැඩිදුරටත් අවධාරණය කරයි.
















