යෝජිත නව ඉරාන ගිවිසුම (New Iran Deal) සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි අන්තර්ගත ඇතැම් වගන්ති මඟින් ඉරානයට වඩා ඇමරිකා එක්සත් ජනපදයට වැඩි වාසි සැලසෙන බවට ජ්‍යෙෂ්ඨ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයියද් මහමුද් නබාවියන් (Seyyed Mahmoud Nabavian) බරපතල විවේචනයක් එල්ල කර තිබේ.
ගිවිසුමේ අන්තර්ගතය විශ්ලේෂණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ, “එහි 3 වැනි වගන්තියේ සිට ඉදිරියට ඇති පාඨයන් ඉතා සංකීර්ණ මෙන්ම බරපතල” ස්වරූපයක් ගන්නා බවයි. ඔහුගේ ප්‍රධානතම විරෝධතාව එල්ල වී ඇත්තේ ගිවිසුමේ සඳහන් ‘අවසාන එකඟතාව’ (Final agreement) දින 60ක් ඇතුළත ලබාගත යුතු වුවද, දෙපාර්ශවයේම කැමැත්ත මත කිසිදු සීමාවකින් තොරව එය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට පවතින හැකියාව පිළිබඳවයි.
“4 වැනි වගන්තියේ සඳහන් වෙන්නේ අවසාන එකඟතාවට පැමිණ දින 30ක් ඇතුළත ඇමරිකානු හමුදා මෙම කලාපයෙන් (මැදපෙරදිගින්) ඉවත් විය යුතු බවයි. නමුත්, යම් හෙයකින් මෙම අවසාන එකඟතාවය දිගින් දිගටම ප්‍රමාද වුවහොත්, ඇමරිකානු හමුදා කලාපයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ද ඒ හා සමානවම ප්‍රමාද වෙනවා” යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
නබාවියන්ගේ මතයට අනුව, මෙම ලිහිල් ප්‍රතිපත්තිය නිසා සමස්ත ගිවිසුමේ වාසිය ඇමරිකාව සතු වන අතර, ඉරානය විසින් මීට වඩා නිශ්චිත සහ ස්ථාවර කාලරාමුවක් (Fixed timeline) සඳහා දැඩි ලෙස බලකර සිටිය යුතුව තිබූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
















