සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ සහ නව පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස, ඒ සඳහා වන අභිප්‍රාය ප්‍රකාශන (RFP) කැඳවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පියවර ගනිමින් සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියේදී නව පිරිපහදුව ඉදිකිරීමේදී පෞද්ගලික ආයෝජකයෙකු සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් (Joint Venture) ලෙස එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ මූල්‍ය අනුග්‍රහයෙන් වැඩි කොටසක් පෞද්ගලික ආයෝජකයා විසින් දරනු ලබන අතර, සංස්ථාව විසින් දායකත්ව කොටසක් ලබා දෙනු ඇත. වර්තමානයේ දිනකට බැරල් 50,000ක ධාරිතාවකින් ක්‍රියාත්මක වන සපුගස්කන්ද පිරිපහදුව, නව පිරිපහදුව ඉදිකිරීමෙන් පසු සමස්ත සංකීර්ණයේ ධාරිතාව දිනකට බැරල් 100,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ පවතින පැරණි පිරිපහදුව නවීකරණය කිරීම සහ නව පිරිපහදුව එයට යාබදව ඉදිකොට එක් ඒකාබද්ධ සංකීර්ණයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට වසර හතරක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම හරහා සංස්ථාව සතු 55% – 57% ක වෙළෙඳපොළ ඉල්ලුම සපුගස්කන්ද පිරිපහදුව හරහාම පූර්ණ වශයෙන් ආවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි සංස්ථාව බලාපොරොත්තු වේ. විගණකාධිපති වාර්තාවට අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 59ක ඉඩම් කැබලි 196ක් අත්පත් කර ගැනීමට නියමිතව ඇති අතර, 2021 වසරේ සිදු කළ ශක්‍යතා අධ්‍යයනය ඇතුළුව ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මේ වන විට රුපියල් මිලියන 1,684කට අධික වියදමක් දරා ඇත.
















