කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ (ETC – Electronic Toll Collection) ක්‍රමවේදය තවදුරටත් කාර්යක්ෂම සහ පහසු කිරීම සඳහා පියවර ගෙන තිබේ. ETC පහසුකම භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ විශේෂ මංතීරු වෙන් කර ඇති අතර, එමගින් රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, ETC භාවිත කරන මගීන් සඳහා සෑම ගමන් වාරයකදීම නියමිත ගාස්තුවෙන් 10%ක වට්ටමක් ද හිමිවේ. මෙය බිමල් රත්නායකගේ ෆේස්බුක් සටහනක ද සඳහන්ව තිබුණි.
මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC සේවාව ක්‍රියාත්මක වන අතර, කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී ද ඉදිරියේදී මෙම පහසුකම ලබාදීමට කටයුතු යොදා ඇත.
මීට පෙර පැවති අපහසුතා මඟහරවා ගනිමින්, වාහන හිමිකරුවන්ට ඉතා පහසුවෙන් www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය. ලියාපදිංචි වීමෙන් පසු පහසු හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබා ගත හැකි අතර, ඉහත සඳහන් වෙබ් අඩවිය හෝ Govpay හරහා තම බැංකු කාඩ්පත මගින් ගිණුමට මුදල් බැර (Top up) කර ගැනීමෙන් අනතුරුව, අධිවේගී මාර්ගයේ ගාස්තු ස්වයංක්‍රීයව ගෙවමින් කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකිය.
අධිවේගී මාර්ගයේ ETC මංතීරු භාවිත කිරීමේදී ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15ක වේගයක් පවත්වා ගන්නා ලෙසත්, ඉදිරියෙන් ඇති වාහනය සමඟ මීටර් 20ක පරතරයක් තබා ගන්නා ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මෙම සේවාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද අද දින සංවිධානය කර තිබුණි.
















