සෑම ඩෙංගු රෝගියෙකුම රෝහලට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති වුවද, ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන සෑම අයෙකුම අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසයි.
තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිරි මාසයක කාලය තුළදී ඩෙංගු රෝගී තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි අතර, ඉන් අනතුරුව එය ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි. ඩෙංගු මරණ පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී බොහෝ රෝගීන් අවසාන මොහොතේ රෝහල්ගත වී ඇති බව පෙනී යන බැවින්, රෝගියෙකු රෝහලට ඇතුළත් කළ යුතුද නැද්ද යන්න වෛද්‍යවරයෙකු ලවා තීරණය කරවා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ඩෙංගු රෝගය යනු ශරීරයේ ජල මට්ටම නිසි පරිදි පාලනය කිරීම මඟින් සහ වෛද්‍ය මගපෙන්වීම් යටතේ ඉතා පහසුවෙන් සුව කළ හැකි තත්ත්වයක් බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජනතාවගේ සහයෝගය ද අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
















