නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනිඅවි භාවිතයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 2008 වසරේදී සිදු වූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. වාර්තා වූ ඝාතන සිදුවීම් අතර 2008 ජනවාරි 09 වනදා මඩකලපුව, කල්අඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි ප්‍රධාන වීදියේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2008 අගෝස්තු 20 වනදා වව්නතිව්, කොත්තියාපොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළත් වේ. මෙම අපරාධවලට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර, පළමු සැකකරු දැනට විදේශගතව සිටින බවත්, අනෙක් සැකකරුවන් දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. එම සැකකරුවන් දෙදෙනා අද (ජූනි 15) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙම ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර ඇති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්), දැනටමත් මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. ඒ අනුව, මෙම නඩුව කැඳවන ඉදිරි දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















