ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 501ක වියදමින් අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගාරය ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය අද (16) ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) විසින් මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, මීට සමගාමීව රුපියල් මිලියන 228ක් වැය කරමින් පළාත් ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත උපකරණ බෙදාදීම ද අද දින සිදුකෙරේ. ඒ අනුව මධ්‍යම, උතුරු මැද, උතුර, නැඟෙනහිර, ඌව සහ දකුණු පළාත් සභා යටතේ ස්ථාපිත ඒකක වෙත ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් මෙහිදී හිමිවනු ඇත.
පුළුල් ඉඩකඩක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවන් වඩාත් වේගවත් වන අතර, එහි ඇති නවීන ශ්‍රවණාගාරය නිලධාරීන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් පුහුණු කිරීමේ කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතය. “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතාව ගොඩනැඟීම” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීම, ජංගම වැඩහල් වාහන සැපයීම සහ කාර්ය මණ්ඩලයේ පශ්චාද් උපාධි හා කෙටි පාඨමාලා පුහුණුවීම් ද සිදුකරනු ලබයි.
මෙම සුවිශේෂී අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිනි මියොන් ලී (Miyon Lee) සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන මහත්ම මහත්මීන් ඇතුළු KOICA, Korea Exim Bank සහ Saemaul Foundation ඇතුළු කොරියානු ආයතනවල නියෝජිතයින් පිරිසක් ද සහභාගි වීමට නියමිතව ඇත.
















