මෙයට සති දෙකකට පෙර නිමාවට පත් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේදී ලකුණු අතර සිටි පැතුම් නිස්සංක හා කඩුලු බිඳහෙලූ ඒෂාන් මාලිංග යන දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දස්කම් අතර නොසිටීම බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව තිබේ. ඊයේ නිමාවූ කොදෙව් පිලට එරෙහි විස්සයි20 තරගාවලියේ තරග තුනේදීම පැතුම් නිස්සංක ලකුණු 51කට සීමා වූ අතර, ඒෂාන් මාලිංග එම තරග තුනේදීම ලකුණු 97කට කඩුලු 1ක් දවා ගැනීමට පමණක් සමත් විය. එමෙන්ම, ඊයේ තරගයේ නොදැවී ලකුණු 54ක් ලබාගත් ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 23දී දුන් පහසු උඩ පන්දුවක් ද ඒෂාන් මාලිංග අතින් ගිලිහී ගියේය.
දිල්ලි කැපිටල්ස් පිල නියෝජනය කළ පැතුම් නිස්සංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග 10කදී ලකුණු 278ක් ලබාගත් අතර, හයේ 12ක් හා හතරේ පහර 33ක් සමඟ අර්ධ ශතක 2ක් වාර්තා කිරීමට සමත් වී සිටියේය. අනෙක් පසින් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ඒෂාන් මාලිංග තරග 15කදී කඩුලු 20ක් ලබා මෙවර තරගාවලියේ හොඳම 6 වැනි පන්දු යවන්නා බවට පත්ව සිටියද, කොදෙව් සංචාරයේදී එම දක්ෂතා රඳවා ගැනීමට ඔවුන් දෙදෙනාටම නොහැකි වී තිබේ.
















