ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 1966 වසරේ ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ඓතිහාසික සැමරුම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ වන විටත් සංවිධාන කටයුතු ආරම්භ කර ඇත. මෙම මහා සම්මේලනය සඳහා ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවකින් 600කට ආසන්න නියෝජිත පිරිසක් සහ දේශීය මහා සංඝරත්නයේ 500ක පමණ පිරිසක් එක්වීමට නියමිතය.
සම්මේලනයේ සමාරම්භක උත්සවය කොළඹ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේදී පැවැත්වෙන අතර, විධායක කමිටු රැස්වීම්වලින් අනතුරුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ රජයේ පූර්ණ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම සම්මේලනය, බෞද්ධ ලෝකය තුළ ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් බව බුද්ධ ශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
















