ශ්‍රී ලංකා ජාතික රෝහල ආසියාවේ ප්‍රථම විශිෂ්ටතම රෝහල බවට පත් කිරීමේ අරමුණින්, අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රුපියල් මිලියන 12,000ක් වැය කරමින් ඉදිකරන මෙම මධ්‍යස්ථානය වසර තුනක් තුළ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරව ආඝාත ඒකකයක් (Stroke Unit) ද ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවයි.
දශක ගණනාවක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ජාතික රෝහල, ඇඳන් 3,800ක ධාරිතාවකින් සහ 10,000කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙරට සෞඛ්‍ය සේවාවේ හදවත බඳු ආයතනයකි. දීර්ඝ කාලයකට පසු ජාතික රෝහල් ත්‍රිත්වයකට ස්ථිර අධ්‍යක්ෂවරුන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නව දෙනෙකු පත් කිරීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා, බදුල්ල, රත්නපුර, පොළොන්නරුව ජාතික වෘක්කවේද රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන රෝහල් රැසක අධ්‍යක්ෂ ධුරය හොබවමින් අත්දැකීම් බහුල වෛද්‍ය පරිපාලකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු ප්‍රකාශ කර සිටියේ, රෝහලේ සේවක පිරිස් සමඟ එක්ව ගුණාත්මක සහ කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබා දීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
















