කූට උපක්‍රම භාවිත කරමින් මෙරටින් විශාල වශයෙන් විදේශ විනිමය විදේශගත කිරීම පාලනය කිරීමට සහ නීති විරෝධී මුදල් විශුද්ධිකරණ ජාවාරම්කරුවන් මැඩපැවැත්වීමට රජය විසින් ඉදිරියේදී නව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය. ආනයන කටයුතු සඳහා මුදල් ගෙවන බව ව්‍යාජ ලෙස පෙන්වමින් පසුගිය කාලසීමාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදලක් මෙරටින් පිට කර තිබේ. එක් ව්‍යාපාරික ආයතනයක් විසින් අවස්ථා 953කදී රුපියල් බිලියන 12.89ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7ක්) රටවල් 26ක පිහිටි සමාගම් 256ක් වෙත නීති විරෝධී ලෙස බැර කර ඇත. තවත් ආයතනයක් බැංකු ගිණුම් 4ක් යොදා ගනිමින් රුපියල් බිලියන 13කට ආසන්න මුදලක් රන් ආභරණ සහ යකඩ බඩු මිලදී ගන්නා බව පවසා ව්‍යාජ ලෙස විදේශගත කර ඇත.2017 වසරේ පනවනු ලැබූ අංක 12 දරන විදේශ විනිමය පනතෙහි පවතින දුර්වලතා සහ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ තිබූ රෙගුලාසි කිහිපයක් 2017 දී ඉවත් කිරීම මෙම මූල්‍ය අපරාධවලට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විශේෂ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු සැලසුම් කර ඇත.
















