අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙම වසරේ (2026) දෙසැම්බර් මාසය වන විට මෙම සියලුම කාර්යාල විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒවා මඟින් පැමිණිලි භාර ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගොනු කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කිරීමට අපේක්ෂිතය.
වර්තමාන ක්‍රමවේදය යටතේ මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ සාක්ෂි ලබා දීමට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුව තිබේ. එබැවින් මෙම නව ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමෙන් මහජනතාව මුහුණ දෙන එම දුෂ්කරතා සම්පූර්ණයෙන්ම ඉවත් වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.
මෙම අලුතින් පිහිටුවන ප්‍රාදේශීය ශාඛා ජාලය වෙනුවෙන් නීති නිලධාරීන් කණ්ඩායමක් ඇතුළුව සමස්ත නිලධාරීන් 971 දෙනෙකුගෙන් යුත් පිරිසක් අනුයුක්ත කිරීමට නියමිතය. මෙම කාර්යාල කඩිනමින් විවෘත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ සුදුසු ස්ථාන සොයමින් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















