ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා සෘජුව ලබා ගැනීම සඳහා “Sri Lanka Police Community Feedback Portal” නමින් නව QR කේත පද්ධතියක් (Online Digital Platform) හඳුන්වා දී තිබේ. ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි.
මෙම QR කේතය භාවිත කිරීමේදී මහජනතාවට තමන් ඉදිරිපත් කරන්නේ අදහසක්, පැමිණිල්ලක්, ප්‍රශංසාවක් ද නැතහොත් යෝජනාවක් ද යන්න තෝරාගත හැකි අතර, අවශ්‍ය නම් තමන්ගේ පෞද්ගලික තොරතුරු ද ඇතුළත් කිරීමට මෙහිදී පහසුකම් සලසා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ (E-Services) වෙත පිවිසීමෙන් ද මෙම සේවාව ලබාගත හැකිය.
දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් දැකගත හැකි පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කර අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
















