කලක් තිස්සේ අවධානයෙන් ගිලිහී ‘දුෂ්කර’ ලේබලය අලවාගෙන සිටි මොනරාගල දිස්ත්‍රික්කයට අයත් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, රුපියල් ලක්ෂ 560ක (මිලියන 56) දැවැන්ත ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ඔස්සේ මේ වන විට නවෝදයේ මාවතට අවතීර්ණ වී ඇත. ගමේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් නංවාලමින් ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ වී තිබේ.
වියළි කලාපීය දේශගුණය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ උග්‍ර පානීය ජල හිඟයකින් සහ භූගත ජලයේ බැර ලෝහ අධික වීම නිසා වකුගඩු රෝග බියෙන් පීඩා විඳි තණමල්විල වැසියන් වෙනුවෙන් ප්‍රජා ජල පිරිපහදු මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත. රාජ්‍ය ප්‍රතිපාදන සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ක්‍රියාත්මක මෙම එක් පද්ධතියක් මඟින් ප්‍රදේශයේ පුද්ගලයන් 200ත් 300ත් අතර පිරිසකට පිරිසිදු පානීය ජලය සැපයෙන බව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කේ.එච්.ඒ.කේ. නිශාන්ත මහතා පවසයි.
මීට අමතරව, පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් 32ක් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීම සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍ය ආධාර වෙන් කර ඇත. ඉන් මුල් වාරිකය ලෙස ලක්ෂ 3 බැගින් මේ වන විටත් ගෙවා නිම කර ඇති අතර, ඉතිරි ලක්ෂ 2ක මුදල කඩිනමින් මුදා හැරීම සඳහා මහා භාණ්ඩාගාරය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ 35,000කට අධික ජනතාවගේ පහසුව වෙනුවෙන් රුපියල් මිලියන 206ක වියදමින් ඉදිකළ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ද ජනතා අයිතියට පත් කර ඇත.















