ඇමරිකාව සහ ඉරානය මූලික රාමුගත ගිවිසුමකට එළැඹීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමේ බලාපොරොත්තුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටුණද, ඇමරිකානු පාරිභෝගිකයන්ට එහි සෘජු ප්‍රතිලාභ ලැබීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඉරාන ගිවිසුම නිසා තෙල් මිල අතිශය වේගයෙන් පහත වැටෙනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, වෙළෙඳපොළ මිල ගණන් එතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවන බව ලෝක බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති. ඉන්ධන මිල නිරීක්ෂණය කරන ‘ගෑස්බඩී’ (GasBuddy) සමාගමේ ඛනිජ තෙල් විශ්ලේෂණ ප්‍රධානී පැට්‍රික් ඩි හාන් (Patrick De Haan) සඳහන් කරන්නේ, සැපයුම් දාමයේ පවතින බාධා හමුවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට කාලය ගතවන බැවින්, යුද්ධයට පෙර පැවති අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට 2027 වසර දක්වා බලා සිටීමට සිදුවන බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර ඇමරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 2.98ක්ව පැවති අතර, දැනට රට පුරා පෙට්‍රල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 4.06ක ඉහළ අගයක පවතියි. මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුවද, පිරවුම්හල් මට්ටමින් මිල පහත වැටීම සෙමින් සිදුවනු ඇතැයි වාර්තා වේ.
















