ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය සැලසුම්සහගත ක්‍රමවේදයකට සහ මිල සූත්‍රයට අනුව, අවස්ථාව ලැබුණු සැනින් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට රජය සූදානම් බව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද රජය විසින් ඩීසල් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දෙමින් ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගත් බව හෙතෙම අවධාරණය කළේය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෑතකාලීනව ඩොලරයේ අගය ඉහළ යාම පාලනය කිරීමට වාහන ආනයන අතිරේක බදු සහ ඩොලර් ප්‍රතිපත්තීන් හරහා රජය සමත් වූ බවයි. බංකොලොත් වූ භාණ්ඩාගාරයක් භාරගෙන, 2022 වසරේ පැවති ඉන්ධන පෝලිම් යුගයට රට නැවත පත් නොකර වර්තමාන ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට ජාතික ජන බලවේග රජයට හැකි වී ඇති බවත්, ඩොලරය ස්ථාවර වීමත් සමඟ ඉදිරියේදී භාණ්ඩ මිල තවදුරටත් පහත හෙළන බවත් ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය රජයන් මෙන් වත්මන් රජය පරීක්ෂණවලට කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොකරන අතර, වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ස්වාධීන විමර්ශනවලට අවශ්‍ය උපරිම පහසුකම් සපයා ඇති බවයි. එමෙන්ම, විපක්ෂය නඟන “පළපුරුද්දක් නැති” බවට වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ජනතා මුදල් හොරකම් කිරීමේ සහ ආර්ථිකය කාබාසිනියා කිරීමේ “පළපුරුද්දක්” වත්මන් ආණ්ඩුවට නොමැති බවත්, එවැනි දූෂිත දේශපාලකයන් අද වන විට අධිකරණය හමුවේ වැරදිකරුවන් වෙමින් පවතින බවත්ය.
වසර දෙකකටත් අඩු කාලයක් තුළ ලෝක සාම දර්ශකයේ (Global Peace Index) ශ්‍රී ලංකාව ස්ථාන හයකින් ඉදිරියට පැමිණ දකුණු ආසියාවේ දෙවන ස්ථානය දිනා ගැනීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් මුලෆ්ෆර් මහතා, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමට උත්සාහ කරන ඕනෑම කුමන්ත්‍රණකාරී පාර්ශවයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















