බංග්ලාදේශයේ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව වාර්ෂිකව අය කරගනු ලබන රජයේ බදු ආදායම ලොව අවම මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම දර්ශකයන් ඇසුරින් එරට ‘ඩේලි ස්ටාර්’ (The Daily Star) පුවත් සේවය වාර්තා කරයි. මෑතකදී නිකුත් වූ මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශය පසුවන්නේ සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් යේමනය සහ සුඩානය වැනි රටවලට වඩා ඉතා සුළු ඉහළ අගයකින් පමණක් බව එම වාර්තාවල දැක්වේ.
මේ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ රජයට සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පොදු සේවා සඳහා ආයෝජනය කිරීමට ඇති මූල්‍ය ප්‍රතිපාදන බරපතළ ලෙස සීමා වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී මතුවිය හැකි ගෝලීය හෝ දේශීය ආර්ථික ව්‍යාකූලත්වයන්ට සාර්ථකව මුහුණ දීමට එරටට ඇති හැකියාව අවම වන බවටද ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.
ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ‘ජාත්‍යන්තර වර්ධන මධ්‍යස්ථානයේ’ (International Growth Centre) දත්ත උපුටා දක්වමින් ඩේලි ස්ටාර් පුවත් සේවය පෙන්වා දෙන්නේ, බංග්ලාදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් හේතුවෙන් එරට ජනතාව තුළ රජයේ බදු පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි. දීර්ඝ කාලයක සිට පවතින මෙම දූෂණය සහ බදු පැහැර හැරීම් බංග්ලාදේශයේ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ආදායම් අනුපාතය මෙලෙස පහත වැටීමට ප්‍රධානතම හේතුව වී තිබේ.
















