ඔස්ට්‍රියාවේ, සල්ස්බර්ග් (Salzburg) කලාපය සඳහා ශ්‍රී ලංකාවේ නව නිර්වේතනික කොන්සල්වරිය (Honorary Consul) ලෙස ප්‍රමුඛ පෙළේ යුරෝපීය ව්‍යාපාරික නායිකාවක වන පෙට්‍රා වින්සර් (Petra Winzer) මහත්මිය පත් කර තිබේ. සල්ස්බර්ග්හි පිහිටි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලයේදී ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති මහේෂ් ගුණවර්ධන මහතා විසින් ඇය වෙත මෙම නිල පත්වීම් ලිපිය භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පෙට්‍රා වින්සර් මහත්මිය, සල්ස්බර්ග්හි ශ්‍රී ලංකා හිටපු නිර්වේතනික කොන්සල්වරයකු වූ දිවංගත ක්‍රිස්ටියන් වින්සර් මහතාගේ බිරිඳ වන අතර, ඇය සෞඛ්‍ය, ස්වභාවික නිෂ්පාදන සහ සහතික කළ කාබනික ආහාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ යුරෝපීය සමාගමක් වන ‘Bio-Nahrungsmittel’ හි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල් රැසක ව්‍යාප්තව ඇති මෙම සමාගම, දැනටමත් ශ්‍රී ලංකාවෙන් කොකෝනට් චිප්ස් ඇතුළු කාබනික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.
සිය පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව කොන්සල්වරිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආර්ථික, සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රයන් ඔස්සේ යුරෝපය තුළ ප්‍රවර්ධනය කිරීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බවයි. විශේෂයෙන්ම, 2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා සිය සමාගම මෙන්ම සල්ස්බර්ග්හි පිහිටි තවත් ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රියානු සමාගම් රැසක් සහභාගී කරවීමට තමන් සෘජුවම මැදිහත් වන බවද ඇය මෙහිදී සහතික විය.
















