‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට කැනඩා රජය ලබා දුන් මානුෂීය සහයෝගය වෙනුවෙන් තමා කෘතඥතාව පළ කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම හමුවේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් ගතවන මොහොතේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැගීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා මහ කොමසාරිස්වරිය දැනුවත් කළේය.
උතුරු සහ නැඟෙනහිර පළාත්වල වත්මන් සාමකාමී වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මාර්ග බාධක ඉවත් කිරීම සහ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මගින් එම ප්‍රදේශවල ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ තාක්ෂණික සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තරාත්මක යෝජනාවලියක් හරහා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු නිලධාරීහු සහ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ එක්ව සිටියහ.
















