ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් ප්‍රදේශය සඳහා ශ්‍රී ලංකාවේ නව නිර්වේතනික කොන්සල්වරිය ලෙස පෙට්‍රා වින්සර් (Petra Winzer) මහත්මිය පත් කර තිබේ. ඇය වෙත අදාළ පත්වීම් ලිපිය ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති මහේෂ් ගුණවර්ධන මහතා විසින් සල්ස්බර්ග්හි පිහිටි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලයේදී භාර දෙන ලදී.
පෙට්‍රා වින්සර් මහත්මිය සල්ස්බර්ග්හි හිටපු නිර්වේතනික කොන්සල්වරයකු වූ දිවංගත ක්‍රිස්ටියන් වින්සර් මහතාගේ බිරිය වේ. ඇය සෞඛ්‍ය සහ ස්වභාවික නිෂ්පාදන මෙන්ම සහතික කළ කාබනික ආහාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ යුරෝපීය සමාගමක් වන ‘Bio-Nahrungsmittel’ හි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. 1979 දී ආරම්භ කරන ලද මෙම සමාගම ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල් රැසක සිය නිෂ්පාදන බෙදාහරින අතර, දැනටමත් ශ්‍රී ලංකාවෙන් කොකෝනට් චිප්ස් ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ආනයනය කරයි.
තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආර්ථික, සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට තමා උපරිම දායකත්වය ලබා දෙන බවයි. එමෙන්ම 2027 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා සිය සමාගම සමඟ සහභාගි වීමට ඇය උනන්දුව පළ කර තිබේ. සල්ස්බර්ග්හි පිහිටි අනෙකුත් ඔස්ට්‍රියානු සමාගම් ද එම ප්‍රදර්ශනය සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















