විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වූ විශේෂ වැඩමුළුවක් කොළඹදී පැවැත්විණි. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී විද්‍යුත් වාහන භාවිතය රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙන ආකාරය පිළිබඳව අවධානය යොමු විය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට මෙරට භාවිත වන වාහන අතරින් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකක් පමණක් බවයි. මෙම ප්‍රතිශතය වැඩිකර, පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් වාහන ආරෝපණය කිරීම සිදුකළහොත්, පොසිල ඉන්ධන සඳහා වාර්ෂිකව වැය කෙරෙන බිලියන ගණනක රුපියල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
විද්‍යුත් වාහන භාවිතයේ වර්ධනයට බලපා ඇති බාධා හඳුනාගෙන ඒවා මගහරවා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත්, ඒ යටතේ විදුලිය ඉල්ලුම අඩු දිවා කාලයේදී වාහන ආරෝපණය කිරීම සඳහා විශේෂිත සහ අඩු මිල අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, නාගරික ප්‍රදේශවලින් පිටත ස්ථානවලද විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කිරීම සහ ජාතික විදුලිබල පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම වැනි පියවරයන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබඳ සන්ධානයේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩමුළුව සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක ඉහළ පෙළේ නියෝජිතයින් එක්ව සිටියහ.
















