රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලයේ සියලුම රදගුරුතුමන්ලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. “ප්‍රමාද වූ යුක්තිය වේදනාකාරීයි” යන තේමාව පෙරදැරි කරගනිමින් යොමුකර ඇති මෙම ලිපිය මඟින් ඇය ඉල්ලා සිටින්නේ සාධාරණත්වයේ මූලධර්මය මත පිහිටා තමන්ට සහ තම පවුලට සහය වන ලෙසයි.
කිසිදු අධිකරණයකින් තම සැමියා වැරදිකරුවෙකු හෝ නිවැරදිකරුවෙකු බවට තීරණය කිරීමටත් පෙර, ඔහුගේ කීර්තිනාමය, ගෞරවය සහ අභිමානය ප්‍රසිද්ධියේ විනාශ වෙමින් පවතින බව මනෝරි සලේ මහත්මිය පෙන්වා දෙයි. තම පවුල අසරණව බලා සිටින මෙවන් මොහොතක, ඔහු විඳින දැඩි ශාරීරික, මානසික සහ චිත්තවේගීය පීඩාවන් හමුවේ රදගුරු මණ්ඩලයේ අධ්‍යාත්මික හා මානුෂීය මැදිහත්වීම තමන් අතිශය ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන බව ද ඇය සඳහන් කර සිටී.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වසර තිස්පහකට අධික කාලයක් දේශය වෙනුවෙන් විශිෂ්ට හමුදා සේවයක නිරත වූ, වීරත්වයේ සහ සටන් පෙරමුණු පදක්කම් රැසකින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බව ලිපියේ අවධාරණය කර ඇත. ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට නොව, රාජ්‍යයට සහ එහි ජනතාවට පමණක් නොසැලෙන පක්ෂපාතීත්වයක් දක්වමින්, දේශපාලන අනුබද්ධතාවලින් තොරව ශ්‍රී ලංකාවේ එකදිගට පත් වූ ජනාධිපතිවරුන් පස්දෙනෙකු යටතේම විශ්වාසවන්තව සේවය කළ අයෙකු බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
















