ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරන ලද “Mineral Sands Technical Conference 2026” විශේෂ තාක්ෂණික සමුළුව අද (17 වැනිදා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී (Galle Face Hotel) සාර්ථකව පැවැත්වුණි. ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ ‘Mineral Technologies’ ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍යවරයා අවධාරණය කළේ පාරිසරික සමතුලිතතාවය සහ තිරසාර පදනම උපරිමයෙන් සුරකිමින්, නවීන තාක්ෂණය ඔස්සේ අප රට සතු වටිනා ඛනිජ වැලි සම්පතෙන් උපරිම ඵල නෙලා ගැනීමට වත්මන් රජය කැපවී සිටින බවයි. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් විදේශ ආයෝජන දිනා ගැනීම සහ ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධානතම අරමුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර ක්ෂේත්‍ර ප්‍රවීණයන් මෙන්ම ප්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය ආයෝජකයින් රැසක් ද සහභාගී වී සිටියහ. ලංකාවේ ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් උදෙසා මෙම සමුළුව ඉහළ දායකත්වයක් සපයනු ඇතැයි ක්ෂේත්‍රයේ විද්වත්හු විශ්වාසය පළ කරති.
















