ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරු විශේෂ දෙකෙන් පමණක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය පවසයි. ඉන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ප්‍රධාන වාහකයා වන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂය වන අතර, රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමට පෙර සෑම විටම පාහේ මෙම මදුරු විශේෂයේ කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය වන බව ද ඇය සඳහන් කළාය.
ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂයට දෂ්ඨ කිරීමේ සුවිශේෂී ආවේණිකත්වයක් පවතින අතර, එය විද්‍යාත්මකව ‘බහුවාර්ය භෝජන’ (Multiple Feeding) ලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් ගැහැණු මදුරුවෙකු තම ජීවන චක්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එක් අයෙකුගේ රුධිරය පමණක් උරා බොනු ලැබූවද, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. කුඩා මිනිස් කණ්ඩායම් ගැවසෙන ප්‍රදේශවලදී, තමන්ට අවශ්‍ය රුධිර වේල සම්පූර්ණ කර ගැනීම සඳහා කෙටි කාලයක් ඇතුළත පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුධිරය උරා බොන්නට මෙම මදුරුවා පෙළඹේ.
මෙම සුවිශේෂී හැසිරීම් රටාව හේතුවෙන්, යම් හෙයකින් ඩෙංගු වෛරසය ආසාදනය වූ ඊඩිස් ඊජිප්ටයි මදුරුවෙකුට ඉතා කෙටි කාලයක් තුළ පුද්ගලයන් කිහිප දෙනෙකුටම රෝගය වේගයෙන් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතී. ඩෙංගු රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමේදී මෙම තත්ත්වය හඳුනා ගැනීම අතිශය වැදගත් වන බැවින්, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ව්‍යාප්තිය සහ ඔවුන් බෝවන ස්ථාන පිළිබඳව නිරන්තරයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සකුන්තලා ජානකී මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















