අද වන විට මුළු ලෝකයම සිය න්‍යෂ්ටික බලයට බියෙන් හොල්ලන උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන් උන් මහතා, සිය ළමා කාලයේදී දැඩි ආරක්ෂක වළලු බිඳදමමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් (Passport) ආධාරයෙන් ජපානයේ ටෝකියෝ ඩිස්නිලන්තය නැරඹීමට ගිය පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඇසුරෙන් අනාවරණය වී තිබේ. ලෝකයෙන්ම හුදෙකලා වූ දැඩි පාලනයක් සහිත උතුරු කොරියාවේ හැදී වැඩුණු අට හැවිරිදි පුංචි කිම් ජොන් උන් සහ ඔහුගේ සහෝදරයා, ලෝකයේ ළමයින්ගේ සිහින රාජධානිය වූ ඩිස්නිලන්තය නැරඹීම සඳහා බුද්ධි අංශවල සහයෙන් මෙම අපූරු සැලසුම සකස් කර ඇත.
ඒ අනුව, 1991 වසරේදී උතුරු කොරියානු බුද්ධි අංශ විසින් බ්‍රසීල රජයෙන් ව්‍යාජ පාස්පෝට් දෙකක් සකස් කරගෙන ඇති අතර, එහිදී කිම් ජොන් උන් හට ‘ජෝසෆ් ප්වැග්’ (Josef Pwag) යන ව්‍යාජ නාමය ලැබී තිබේ. ජපාන දේශසීමා නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගසමින් ටෝකියෝ නුවරට ඇතුළු වූ මෙම කණ්ඩායම, දින 10කට ආසන්න කාලයක් සාමාන්‍ය දරුවන් මෙන් ඩිස්නිලන්තයේ රෝලර් කෝස්ටර් (Roller Coasters) පදිමින් සහ විවිධ කාටූන් චරිත සමඟ සෙල්ලම් කරමින් සිය ළමා කාලය සුන්දරව ගත කර තිබේ. පසුව 2011 වසරේදී රොයිටර් පුවත් සේවය විසින් කිම් ජොන් උන් සහ ඔහුගේ පියා වන කිම් ජොන් ඉල් වෙනුවෙන් නිකුත් කර තිබූ බ්‍රසීල ව්‍යාජ පාස්පෝට්වල ඡායාරූප ලොවටම හෙළි කරන ලදී. බුද්ධි අංශ පවසන පරිදි මෙම ව්‍යාජ පාස්පෝට් සකස් කර ඇත්තේ හදිසි දේශපාලන පෙරළියකදී පණ බේරාගෙන පැන යාමේ රහසිගත සැලසුමක් (Emergency Escape Plan) ලෙසය.
මෙම ඩිස්නිලන්ත කතාවේ තවත් උපහාසාත්මක පැත්තක් 2001 වසරේදී වාර්තා වන අතර, එහිදී කිම් ජොන් උන්ගේ වැඩිමහල් අඩ සහෝදරයා වූ කිම් ජොන් නැම් ද ඩොමිනිකන් ජනරජයේ ව්‍යාජ පාස්පෝට් එකකින් ජපානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මාට්ටු වී තිබේ. ඩිස්නිලන්තය බැලීමට පැමිණි බව පැවසූ ඔහු නිසා උතුරු කොරියානු පාලක පවුල ලෝකය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් වූ අතර, එම සිල්ලර වැඩේ හේතුවෙන් කෝපයට පත් පියා ඔහුව නායකත්ව ලැයිස්තුවෙන් කපා දමා ඇත. අන්තිමේදී, එම නායකත්ව අවස්ථාව 1991 දී හොරෙන් ඩිස්නිලන්තයට ගිය කිම් ජොන් උන් වෙත හිමි වීමට ද මෙම සිදුවීම වක්‍රව බලපා තිබේ.
















