විවිධ සංවිධාන හා බාහිර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන, රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී අද (17 වැනිදා) උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් රජය අතිවිශාල කැපකිරීමක් සිදුකරන බැවින්, දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පිහිටා බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බව ද ඇය එහිදී ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවේදී ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සහ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විභාග ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් දෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ලංකා ඉතිහාසයේ විශාලතම ගුරු බඳවාගැනීම 2026 වසරේදී සිදුකිරීමට රජය සූදානම් වන බවයි.
ඒ අනුව, උපාධිධාරී ගුරුවරුන් 23,000ක්, විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 30,000කට ආසන්න පිරිසක් මේ වසරේදී රාජ්‍ය සේවයට එක් කර ගැනීමට සැලසුම් කර ඇත. මීට අමතරව අධ්‍යාපන පරිපාලන හා ගුරු උපදේශක පුරප්පාඩු පිරවීමට මෙන්ම ගුරු තුලනය හා දත්ත කළමනාකරණ ගැටලු විසඳීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
















