පාරිභෝගිකයින් සඳහා සුරක්ෂිත, බාධාවකින් තොර සහ වඩාත් පහසු ඩිජිටල් වාණිජ අත්දැකීමක් ලබාදීමේ වැදගත් පියවරක් තබමින්, Visa සමාගම මෙරට තුළ ‘Click to Pay’ සේවාව අද (17 වැනිදා) සිට ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මෙම නව සේවාව මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගෙවීම් පියවීමේ (Checkout) ක්‍රියාවලිය වඩාත් වේගවත් වන අතර, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව මිල දී ගැනීම් සිදුකිරීමටත්, වෙළෙඳුන්ට සාර්ථක ගෙවීම් ප්‍රතිශතයන් ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම කාඩ්පත් විස්තර නිතර ඇතුළත් කිරීමට සිදුවන ‘ලියාපදිංචි නොවූ පාරිභෝගික ගෙවීම්’ (Guest Checkout) ක්‍රියාවලියේ පවතින සංකීර්ණභාවය මඟහරවා ගැනීමට මෙයින් විසඳුම් ලැබෙනු ඇත.
‘Click to Pay’ සේවාව යටතේ පාරිභෝගිකයින්ට එක් වරක් පමණක් සිදුකළ යුතු සරල සැකසුමකින් (One-time setup) පසුව, තමන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය පමණක් භාවිත කරමින් තම Visa කාඩ්පත සුරක්ෂිතව ලියාපදිංචි කළ හැකිය. ඉන්පසුව සිදුකරන සෑම මිල දී ගැනීමකදීම නැවත නැවතත් කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමකින් තොරව, ක්ලික් කිරීම් කිහිපයකින් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකි වේ. මෙහි ආරක්ෂාව සඳහා Tokenised තාක්ෂණය භාවිත කර ඇති බැවින්, ගෙවීම් සිදුකරන විට කාඩ්පතේ ඇති සංවේදී තොරතුරු පද්ධතිය හරහා සෘජුවම ගමන් නොකරන අතර, ඒ වෙනුවට ආරක්ෂිත digital tokens ආදේශ කෙරේ. මේ නිසා සැබෑ කාඩ්පත් අංකය රහසිගතව පවතින බැවින් මූල්‍ය වංචා සිදුවීමේ අවදානම සම්පූර්ණයෙන්ම වැළකී යයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ සඳහන් කළේ, භාණ්ඩ මිල දී ගැනීම සහ ගෙවීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් ඩිජිටල් ක්‍රමවේද වෙත යොමුවන බැවින්, ඔවුන් වෙනුවෙන් වඩාත් විශ්වසනීය සහ සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් සලසා දීම අතිශයින්ම වැදගත් වන බවයි. ගෙවීම් පියවීමේ ක්‍රියාවලියට මෙම tokenization තාක්ෂණය සම්බන්ධ කිරීම මඟින් කාඩ්පත්වල සංවේදී දත්ත නිරාවරණය වීම අවම වන අතර, මෙය මෙරට ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියේ සහ ගෙවීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා Visa සමාගම තැබූ සුවිශේෂි පියවරක් වනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
















