පොසොන් උත්සව සමයේ ඓතිහාසික අනුරාධපුර පූජා නගරය කසළින් තොර පුරවරයක් බවට පත්කිරීමේ අරමුණින් ‘ඔබ රැගෙන එන කසළ බිමට නොව කුණු බඳුනට‘ නමින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාව පසුගිය 15 වැනිදා අනුරාධපුර වයිට් හවුස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සාමාන්‍යයෙන් පොසොන් සමයේදී අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව කැළි කසළ මෙට්‍රික් ටොන් 500ක් පමණ එකතු වන බැවින්, මෙවර නගරයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති පසුබිමක, අනවශ්‍ය ද්‍රව්‍ය නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙස සියලුම වගකිවයුතු අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධාන ශක්තිය මත අනුරාධපුර මහ නගර සභාව, අනුරාධපුර පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඍජු දායකත්වය යටතේ මෙම ‘කසළවලින් තොර පුරවරයක්’ ව්‍යාපෘතිය දියත් කර ඇත. පසුගිය පොසොන් සමයන්හි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පැමිණීමත් සමඟ පූජා නගරය මෙන්ම අවට පරිසරය සහ ජලාශ ද දැඩි ලෙස අපවිත්‍ර වූ අයුරු දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික පොසොන් කමිටුවේ සභාපති සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ, අනුරාධපුරයේ බොහෝ ජලාශ ප්‍රදේශවාසීන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරන බැවින් එම වැව් පද්ධතිය ආරක්ෂා කරගැනීමට විධිමත් වැඩපිළිවෙළක් යොදා ඇති බවයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ අනුරාධපුරයට ඇතුළු වන සියලුම රථ වාහන සඳහා කසළ එකතු කර බැහැර කිරීමට විශේෂ බෑග් ලබාදීමට කටයුතු කෙරේ. එමෙන්ම, පූජා නගරය තුළ අනවශ්‍ය ලෙස හෝ නොසැලකිලිමත් ලෙස කුණු කසළ බැහැර කරන පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලීසිය අවධාරණය කර සිටී. මෙම මාධ්‍ය හමුව සඳහා අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්. කරුණාරත්න, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති එන්.අයි. සුගතපාල, නාගරික කොමසාරිස් එච්.ආර්. නිශාන්ත සහ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















