බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි ප්‍රසිද්ධ අක්බාර් පාලමේ තිබූ බඹර වද 10ක් පමණ ඉකුත් 16 වැනිදා සාර්ථකව ඉවත් කර තිබේ. එළඹෙන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිත 87 වැනි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වන උපාධිධාරීන්ගේ සහ ඔවුන් සමඟ පැමිණෙන දෙමාපියන් ඇතුළු අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සෑම උපාධි ප්‍රදානෝත්සවයකටම පෙර අක්බාර් පාලමේ බැඳ ඇති බඹර වද ඉවත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් වන අතර, 2014 වසරේ සිට අඛණ්ඩව මෙම කාර්යය ඉටුකරනු ලබන්නේ බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය විසිනි.
මහවැලි ගඟට ඉහළින් පිහිටි අක්බාර් පාලමේ බඹර වද ඉවත් කිරීම ඉණිමන් සහ කඹ ආධාරයෙන් සිදුකළ යුතු අතිශය අවදානම් සහ සංකීර්ණ කටයුත්තක් වන අතර, මෙවර ඒ සඳහා 12 දෙනෙකුගෙන් යුත් පුහුණු කණ්ඩායමක් සහභාගි වී ඇත. මෙවර විශේෂත්වයක් ලෙස උපාධි සහතිකය ලබාගැනීමට නියමිත උපාධි අපේක්ෂිකාවන් දෙදෙනෙකු ද මෙම බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුමට ඍජුවම දායක වී තිබේ. අතීතයේදී ගිනි තබා බඹරුන් විනාශ කළ ද, වර්තමානයේදී පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ නිලධාරීන්ගේ උපදෙස් මත බඹරුන්ගේ ජීවිතවලට හානියක් නොවන විද්‍යාත්මක ක්‍රමවේද මේ සඳහා භාවිත කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට ප්‍රකාශ කළේ, කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පරාගකාරකයකු වන බඹරුන් පළවා හැරීම සඳහා තමන් පොල්ලෙලි පුච්චන ලද දුමාරය භාවිත කරන බවයි. එම දුමාරය නිසා බඹරුන් නොමැරෙන අතර, රැජින සමඟ පැය 48ක් ඇතුළත උන් එම ස්ථානයෙන් ඉවත් වී යයි. මෙම සංවිධානය විසින් මීට පෙර අවුකන බුදු පිළිමය, ඇල්ල ආරුක්කු නවය පාලම, වික්ටෝරියා වේල්ල, දළදා මාලිගාව මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ හැටන් ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී හෙලිකොප්ටර් යානා ගොඩබස්වන කලාපයේ තිබූ බඹර වද ද මෙලෙස සුරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
















