නවගමුව රනාල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ පුද්ගලයා දින 3කට පසු දුන්හිඳ රක්ෂිතය තුළ නිරුපද්‍රිතව සිටියදී ඉකුත් 17 වැනිදා සොයාගෙන තිබේ. මෙලෙස අතුරුදන්ව සිට සොයාගනු ලැබුවේ නවගමුව රනාල ස්වර්ණභූමි මාවතේ පදිංචිව සිටි දුමින්ද උදplaceholderයනාත් (45) නැමැති අවිවාහක පුද්ගලයෙකි. ඔහුව වෛද්‍ය පරීක්ෂණ සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
නවගමුව රනාල ප්‍රදේශයේ පදිංචි එකම පවුලක නෑදෑ හිතවතුන් පිරිසක් සමඟ මොහු ඉකුත් 13 වැනිදා අලුයම බදුල්ල බලා පැමිණ තිබේ. එදින බදුල්ලේ නවාතැන්ගෙන 14 වැනිදා දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට ගොස් ආපසු එන අතරතුරදී මෙම පුද්ගලයා අතුරුදන් වී ඇත. ඉන් අනතුරුව බදුල්ල පොලීසිය, දියතලාව සහ බදුල්ල එළදළුව යුද හමුදා නිලධාරීන්, හාලිඇළ උඩුවර පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් සහ දුන්හිඳ ගම්වාසීන් එක්ව දිවා රෑ නොබලා දින තුනක් තිස්සේ දුන්හිඳ රක්ෂිතය පීරමින් දැවැන්ත සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබිණි.
දුන්හිඳ දිය ඇල්ල ආසන්නයේ දුන්හිඳ පතන දෙසින් ඉකුත් 17 වැනිදා පස්වරුවේ කිසිවකු ජලය ඉල්ලා කෑගසන ශබ්දයක් අවට සිටි ගම්වාසීන් පිරිසකට ඇසී තිබේ. ඒ අනුව ඔවුන් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී දින තුනක් තිස්සේ දුන්හිඳ රක්ෂිතයේ අතරමංව සිටි මෙම පුද්ගලයා හඳුනාගෙන ඇත. මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී පොලීසිය දැනුවත් කිරීමෙන් පසු බදුල්ල පොලිස් නිලධාරීන් පැමිණ ඔහුව මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. ඔහු දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර, මෙම අතුරුදන් වීම පිටුපස ඇති සැබෑ හේතුව අනාවරණය කරගැනීම සඳහා උසස් පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
















