ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා සහ බ්‍රිතාන්‍ය වෙළෙඳ දූත ලෝඩ් හැනට් (Lord Hannett of Everton) යන මහත්වරුන් ඊයේ (18) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසන පරිදි, බ්‍රිතාන්‍යයේ ‘සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ ක්‍රමය’ (DCTS) යටතේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හිමිවන තීරුබදු රහිත (Zero-Tariff) වෙළෙඳපොළ අවස්ථා වඩාත් ඵලදායී ලෙස උපයෝගී කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. මීට අමතරව, දෙරට අතර දිගුකාලීන ආර්ථික හවුල්කාරිත්වයන් වර්ධනය කරගැනීම සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ලංකාව තුළ විනිවිදභාවයකින් යුත් මෙන්ම පුරෝකථනය කළ හැකි ස්ථාවර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
















