ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දිනකට රුපියල් මිලියන 20ක (කෝටි දෙකක) මූල්‍ය පාඩුවක් ලබන බව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ලංගමයේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
විධිමත් බස් රථ කළමනාකරණ පද්ධතියක් නොමැති වීම, රියදුරු සහ කොන්දොස්තරවරුන් අතින් සිදුවන අක්‍රමිකතා සහ දුර්වල බඳවා ගැනීමේ ක්‍රමවේද මෙම පාඩුවට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම රාත්‍රී සහ අලුයම කාලයේ ධාවනය වන බස් රථවල මගීන්ගෙන් සැලකිය යුතු පිරිසකට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් විශාල ආදායමක් මණ්ඩලයට අහිමි වන බව නිලධාරීන් පෙන්වා දුන්හ.
පාඩු අවම කර ගනිමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සඳහා ලබන නොවැම්බර් මාසය වන විට බස් ගාස්තු ගෙවීම සඳහා කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීමටත්, සැප්තැම්බර් සහ නොවැම්බර් කාලසීමාව වන විට බස් රථ ධාවනය නිරීක්ෂණය කිරීමට ජීපීඑස් (GPS) තාක්ෂණය හඳුන්වා දීමටත් සැලසුම් කර ඇත. මීට අමතරව අගෝස්තු 31 වන විට නව බස් රථ 104ක් සහ නොවැම්බර් මාසය වන විට සුඛෝපභෝගී බස් රථ 200ක් ඇතුළු තවත් බස් රථ 600ක් ධාවනයට එක් කිරීමට නියමිතය. තවද දැනට කාර්යාල රාජකාරිවල නිරත රියදුරු සහ කොන්දොස්තරවරුන් නැවත ඔවුන්ගේ මුල් රැකියාවලට යොමු කර, කාර්යාල කාර්ය මණ්ඩලය විධිමත් ක්‍රමවේදයකින් බඳවා ගැනීමට ද පියවර ගෙන ඇත.
















