අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් දැරණියගල, නූරි පාරේ පිහිටි නිවසක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම පිළිබඳ තවත් තොරතුරු වාර්තා වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමඟ සිටි තරුණයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් සහ පොලිසිය තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් එම තරුණයින් උණුසුම් ලෙස හැසිරී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් මෙම පිරිස සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර ඇති අතර, එම නිලධාරියා අත තිබූ මාංචු ගලවා ඉවත් කිරීමත් සමඟම එම නිලධාරියාට පන්න පන්නා පහරදී ඇත. එසේම, පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක අයිස් මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.
අනතුරුව අත්අඩංගුවේ සිටි සැකකරුවන් මුදාගෙන ඇති අතර, පසුව අදාළ මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදීමට කටයුතු කර ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලටත්, පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනා දැරණියගල රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබති.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
















