පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර ජනතාව වෙනුවෙන් බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ (18) කරෙයිනගර් ‘සී නෝර්’ (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී පවත්වා තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී විපතට පත් ධීවරයින් වෙත අදාළ සහන උපකරණ බෙදා දීමට කටයුතු කෙරිණි. මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.800ක් වටිනා ධීවර දැල් 32ක් සහ රුපියල් මිලියන 8.640ක් වටිනා බෝට්ටු 18ක් ධීවරයින් වෙත ප්‍රදානය කෙරුණු අතර, රුපියල් 480,000 බැගින් වටිනා මෙම බෝට්ටු 18න් බෝට්ටු 3ක් යාපනය දිස්ත්‍රික්කයට ද (ඩෙල්ෆ්ට් දූපතට 2ක් සහ කරෙයිනගර් වෙත 1ක්), මුලතිව් දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 13ක් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 2ක් වශයෙන් වෙන් කර ලබා දී ඇත.
















