ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කරමින්, පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වය, නීති සම්පාදනය සහ මහජන වගවීම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2026 ජුනි 16 සිට 18 දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වූහ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ගයන්ත කරුණාතිලක, එස්.එම්. මරික්කාර්, වෛද්‍ය ජගත් ගුණවර්ධන, නීතිඥ තුෂාරි ජයසිංහ, කන්දසාමි ප්‍රභූ, ධනුෂ්ක රංගනාත් සහ රුවන් විජේවීර යන මන්ත්‍රීවරුන් ඇතුළත් වූ අතර, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර සහ වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න යන මහත්ම මහත්මීන් ද ඊට එක්ව සිටියහ. “Sri Lanka Committee Visit to Westminster” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම සංචාරයේදී, වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කාරක සභා ව්‍යුහයන්, මූල්‍ය අධීක්ෂණය, පශ්චාත් නීති සම්පාදන සමාලෝචන සහ පාර්ලිමේන්තු නවීකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න කාලය ඇතුළු සභා වාරයන් සෘජුව නිරීක්ෂණය කිරීමට ද ඔවුනට අවස්ථාව ලැබුණි. මීට අමතරව, මහජන සහ සාමි මන්ත්‍රී මණ්ඩලවල සාමාජිකයින්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම, ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම් ස්ටීවන් ට්විග් මහතා සමඟ ද සාකච්ඡා පවත්වමින් ඉදිරි සහයෝගීතා සැලසුම් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස පියවර ගත්හ.
















