හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාව, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි යළි සැකකරුවකු ලෙස නම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. ඒ අනුව ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මන්ත්‍රීවරයා වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ. මෙම ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සෘජු හෝ පරිවේෂණීය සාක්ෂි නොමැති බව පවසමින් ඉකුත් වසරේ ජූලි 29 වැනිදා එවකට සිටි මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහුව නඩුවෙන් මුදා හැරීමට නියෝග කර තිබුණ ද, නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් මෙලෙස යළි සැකකරුවකු ලෙස නම් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2025 මැයි මස 23 වැනි දින දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය මීට පෙර කටයුතු කර තිබුණි.
















