කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනයේ දී ඒකක 74.83ක පහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේ ඒකක 22,361.31ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 11.48ක පහළ යාමක් සමඟින් ඒකක 6,215.30ක් ලෙස සටහන් විය. අද දිනයේ දී රුපියල් බිලියන 1.87ක පිරිවැටුමක් වාර්තා කරමින් දර්ශකයන්හි සුළු පහළ යාමක් පෙන්නුම් කළ ද, සමස්තයක් ලෙස සතියේ අනෙකුත් දින හතර පුරාවටම වාර්තා වූ ධනාත්මක වර්ධනය හේතුවෙන් මෙම සතිය ආයෝජකයින්ට ඉහළ අස්වැසිල්ලක් ගෙන දුන් සතියක් බවට පත්ව තිබේ. ඒ අනුව පූර්ව සතිය අවසානයේ ඒකක 21,637.43ක් ලෙස පැවති සියලු කොටස් මිල දර්ශකය මෙම සතිය අවසන් වන විට ඒකක 723.88ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර, පසුගිය සතියේ වාර්තා වූ රුපියල් බිලියන 10.10ක සමස්ත පිරිවැටුම සාපේක්ෂව 52%ක විශිෂ්ට වර්ධනයක් සනිටුහන් කරමින් මෙම සතිය තුළ රුපියල් බිලියන 15.41ක ඉහළ සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත්ව ඇත.
















