සමස්ත සමාජ පරිවර්තනය තුළ පැන නැගී ඇති අභියෝග ජය ගනිමින් ශාසනයේ ප්රබෝධය උදෙසා පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. පිරිවෙන් සහ පාසල් යනු එකක් නොවන බව හොඳින් අවබෝධ කර ගනිමින්, පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදු විය යුතු යෝග්‍ය වෙනස්කම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවේ, පල්ලෙකැලේ SIBA පරිශ්‍රයේදී ඊයේ (19) පැවති “සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන” සඟරජ බුහුමන් 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අමතමිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සහ මධ්‍යම පළාත් සභාව එක්ව සංවිධානය කළ මෙම මහෝත්සවයේදී, පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ශාසනික මෙහෙවරක නිරත වූ මහා සංඝරත්නය වෙත උපහාර පිදීමද සිදු විය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, නවීන හා සංකීර්ණ ලෝකයේ අභියෝග ජයගත හැකි සඟ පරපුරක් නිර්මාණය කිරීම උදෙසා මහා සංඝරත්නය මූලිකත්වය ගෙන පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කරන ලෙස ආරාධනා කළාය. පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයේ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා, දියවඩන නිලමේ නිලංග දෑල මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගිහි පැවිදි පිරිසක් සහභාගී වූහ.
















