පාර්ලිමේන්තුව එළඹෙන ජුනි 23 වැනි අඟහරුවාදා සිට ජුනි 26 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් හංස අබේරත්න මහතා නිවේදනය කරයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
සෑම දිනකම පෙරවරු 9.30 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ජුනි 23 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මෙන්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය. පස්වරු 5.00ට “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කෙරෙන අතර, පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂයේ කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ.
ජුනි 24 බදාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
ජුනි 25 බ්‍රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වේ.
ජුනි 26 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ වූ නියමයන් අනුමත කිරීමේ විවාදය පැවැත්වෙන අතර, පස්වරු 2.00 සිට 5.30 දක්වා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීමේ කල් තැබීමේ යෝජනාව තවදුරටත් විවාදයට ගැනේ.
















