වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අම්පාර රෝහලේ සේවය කළ 33 හැවිරිදි භෞතචිකිත්සකවරියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී මෙම භෞතචිකිත්සකවරියගේ මළ සිරුර සොයා ගැනුණි. ඇය ජුනි 03 වන දින සිට 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මියගිය තැනැත්තියගේ දේහය මේ වන විට ඇගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබේ.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, ප්‍රධාන සැකකරු කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු දූෂණ හා වංචා සම්බන්ධ නඩු 20කට අධික සංඛ්‍යාවක චෝදනා ලබා සිටින අයෙකි. මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කර ඇති බවත්, කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ. සැකකරුගේ අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, සිරුර හමුවූ මෝටර් රථය සැකකරු සමඟ සබඳතාවක් පැවැත්වූ තවත් කාන්තාවකට අයත් එකක් බවද හෙළි වී ඇත.
පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කෙරේ.
















