මධ්‍යම ගාසා තීරයේ පිහිටි බුරයිජ් සරණාගත කඳවුරකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ම්ලේච්ඡ ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අහමඩ් විෂා ජීවිතක්ෂයට පත්ව තිබේ.
2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ යුද්ධය ආරම්භ කළ දා සිට මේ දක්වා කාලය තුළ එම කලාපයේදී ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 260ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. අහමඩ් විෂා යනු ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ දක්වා ඝාතනයට ලක්වූ 12 වන අල් ජසීරා මාධ්‍යවේදියා වේ.
මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ වඩාත්ම භයානක සහ මාරාන්තික ස්ථානය බවට අද ගාසා තීරය පත්ව තිබේ. යුද්ධය ආරම්භ වූ දා සිට කිසිදු මාධ්‍ය සදාචාරයක් හෝ ජාත්‍යන්තර නීතියක් නොතකමින් ඊශ්‍රායල හමුදාව විසින් සරණාගත කඳවුරු සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා චෝදනා කරයි.
ගාසා තීරයේ වෙසෙන අහිංසක සිවිල් වැසියන්ගේ පුවත් ලෝකයට වාර්තා කරන මාධ්‍යවේදීන් මෙලෙස ක්‍රමානුකූලව ඝාතනය කිරීම, ලෝක මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළම තර්ජනයක් ලෙස මේ වන විට ලෝකය පුරා දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
















