රට තුළ යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර අකුරණ ප්‍රදේශයේ මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනයේ පැවති සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
පසුගිය කාලයේ වෛද්‍ය සාෆි මහතා සම්බන්ධයෙන් විවිධ මත ගොඩනැගුණු අවස්ථාවේදී තමන් සහ තම පාර්ශ්වය නිරන්තරයෙන්ම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් එතුමාගේ පැත්තේ සිටගත් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. සංවිධානාත්මකව ජාතිවාදය මෙහෙයවන සංවිධාන පවතින්නේ පුරවැසියන් ඒවාට සම්බන්ධ වන තාක් කල් බවත්, එවැනි සංවිධානවල පැවැත්ම මේ වන විට රජය විසින් අහෝසි කරමින් පවතින බවත් ඔහු පැවසීය. සියලු ජාතීන්ට ගෞරවයක් ඇති බවත්, ජාතිවාදයට ඉඩක් නොමැති අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තමන් බලයට පත් වුවහොත් ආගම්වලට කරදර වන බවට හෝ පෙරහැර නවත්වන බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර පැතිරවුවද, තමන් බලයට පත්වීමෙන් පසු ආගම්වලට කිසිදු කරදරයක් සිදු නොවන බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, අධ්‍යාපනය යනු හුදෙක් වෘත්තීය පැත්ත පමණක් නොව සමාජ වගකීමක් ඉටු කළ යුතු ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇති වර්තමාන සමාජය තුළ මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනය වැනි මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තොර ආයතන රටට ආදර්ශයක් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
















